මුල් පිටුව

Sunday, October 24, 2010

විමානයෙන් ආ බ්‍රහ්මයෝ

***** මේ මම ලියපු පොතකින් උපුටා ගත්තු කොටසක්******

විමානය

දැඩි නිහැඩියාව ඝන අදුරෙන් වසාගත් වන ලැහැබ පුරා පැතිරුනි. එකවරම ඇති වූ ඒ නිහැඩියාව අප සිත් වල කුතුහලය මුසු වූ බියජනක හැගීමක්ද ඇතිකරවීමට සමත් විය.

මට නං හිතෙන්නෙ මොකක් හරි දෙයක් වෙන්ඩයි යන්නේ... සුමේධ මගේ කනට කර රහසින් කීවේ අනෙක් තිදෙනාටද නොඇසෙන අයුරිනි. මම ඔහුට පිළිතුරු දීම ‍වෙනුවට තවදුරටත් පියවර කිහිපයක් ඉදිරියට ගමන් කළෙමි.

වන ලැහැබට ඉදිරියෙන් පෙනෙන්නට තිබූ තැනිතලාව. චන්ද්‍රාලෝකයෙන් ආලෝකමත් වී තිබුනි.. මේ දැඩි අන්ධකාරය තුල සිටිනා වූ අප ඒ දෙසට යන්නට වූයේ පහන් එලියට වශීවූ පළගැටියන් මෙනි. එහෙත් මම වහාම කණ්ඩායම නතර කරගත්තෙමි.

ඇයි මොකද උනේ... එතැන්ට යන්නැ?... කසුන් ඇසුවේය.

ආරක්ෂිතයැයි සිතුනද, එය බොහොම භයානක විය හැකිබව මගේ යටි සිත නිතරම කියන්නට විය. එම නිසා මේ රුස්සගස් අතරේම නැවතී සිදුවන්නේ කුමක්දැයි බලාගැනීම සුදුසුයැයි මට සිතුනි.

අපි මෙතන නවතිමු... අර තැනිතලාව පැත්තට යන එක භයානක වෙන්ඩ පුලුවන්... මම රහසින් අනෙක් පිරිසට ඇසෙන සේ පැවසුවෙමි. කණ්ඩායම එය අනුමත කලේ හිස් සොලවමිනි. අප මෙතරම් වේලා බලාපොරෝත්තු වූ අවස්ථාවට තත්පරයෙන් තත්පරය ලං වන බව අප සියලු දෙනාම දැන සිටීමු. අද කුමක් සිදුවෙන්නට යනවාදැයි කිසිවෙකුටවත් සිතාගැනීමටවත් පුලුවන් කමක් නැත.

බිලියන ගණනක් වූ තාරකා ඇති මේ අසීමිත විශ්වයේ ඉතාම කුඩා ස්ථානයක තිබෙනා වූ පෘතුවිතලය කුමක් හෝ විශේෂ හේතුවක් නිසා ඔවුන්ගේ අවධානයට යොමුවී ඇත. ඔවුන් පැමිණෙන්නේ මනුෂ්‍යයාට පිහිට වීමටද, නැතිනම් විනාශ කිරීමටද. මේ ප්‍රශ්ණයට පිළිතුර දන්නේ ඔවුන්ම පමණි. මේ විශේෂ අවස්ථාව දැක ගැනීමට මිහි මත සිටින මනුෂ්‍ය වර්ගයාගෙන් අප පස් දෙනා කෙතරම් වාසනාවන්තදැයි මට සිතුනි. එහෙත් එය වාසනාවක්දැයි මහා අවාසනක්දැයි අප තවමත් නොදනිමු.

හමා ආ සීතල සුලං රැල්ල එකවරම උණුසුම් වන්නට විය.. මම කණ්ඩායම දෙස බැලීමි.. සුමේධ මා දෙස බලා හිස සැලුවේ දැන් කාලය හරියැයි ඉගියෙන් පවසමිනි.

වායුව තවතවත් ක්‍රමයෙන් උණුසුම් වන්නට විය. මා ‍පෙර දින කුමක් කීවත් දැන්නම් මාගේ සිතට බිය ඇතුලුවී හමාරය.

*************************************************************************************
*විමානයෙන් ආ බ්‍රහ්මයෝ* කෘතිය ඇසුරෙනි....
සංජය දිසානායක (කර්තෘ)