මුල් පිටුව

Friday, May 4, 2012

ස්කෝලෙ අටපට්ටම උණ බට ගෙනාපු හැටි

අටපට්ටමක් හොඳයි... එකෙක් යෝජනා කලා.
තඩි සයිස් එකක් ගහමු.. පැටවු දාසයක් ගහමු.. තව එකෙක් ලුනු ඇඹුල් ටිකක් දැම්මා.. 

කට්ටිය ඉස්කෝලෙ හොඳම වෙසක් කූඩුව හදන්නයි දැන් ලෑස්ති වෙන්නේ.. ප්‍රථම ත්‍යාගය ලොකු ටොපි උරයක් සමග සහතිකයක්.. ඒක තමා මෙච්චරම උනන්දුවක්.. මං නං ඕන දෙයක් කියල පැත්තකට වෙලා කස්ටියගෙ යෝජනා ස්ථීර වෙනකං බලාන හිටියා.. 

 හෙටම වැඩ පටන් ගමු නේහ්.. හෙට උදේ කදුරුගස් හංදියට සෙට් වෙයල්ලා.. 

කතා කරගත්ත විදියට පහුවදා..  කොල්ලො රෑන කදුරුගස් හංදියට සෙට් උනා.. මගෙ ළගින් හිටියෙ දමියා.. ඌ තමා පොඩි කාලෙ ඉඳල යාලුවා.. 

දැන් කොහෙන්ද උණ බටයක් හොයාගන්නේ..?.. අසංකයා නොහොත් කණ්ඩායමේ නායකයා හඩ අවදි කලා.. 

මං දැකල තියනවා, වෙල පැත්තට වෙන්න.. යමල්ලා.. මුදුරංගයා නොහොත් බුට්ටා කිව්වා.. 

 දැන් කස්ටිය වෙල පැත්තට යනවා.. බුට්ටා කිව්වා හරි.. වෙල්යායේ ඈත කෙලවරට වෙන්න උණ පඳුරක් පේන්න තිබුනා.. අපේ සෙට් එක වෙල මැදින් උණ බට පඳුරට ලං කලා.. අසාවෙ බෑ තඩි සයිස් උණ බට දෙක තුනක්ම පඳුරෙ තියෙනවා.. පුදුමෙ කියෙන්නේ කවුරුවත් අතක් තියල නෑ.. 

අසංකයා පලවෙනි පිහිපාර ලොකුම උණබටේ අල්ලල ගැහැව්වා.. පිහිය බටේ කාලක් විතර පසාරු කරගෙන ඇතුලට බැස්සා..  ඒ එක්කම ගොතයා නොහොත් සුගත් මැදට පැනලා ඌව නැවැත්තුවා..

ටිකක් හිටපං.. අර බලපං... ගොතයා අත දිග ඇරල ටිකක් දුරින් තියන ගෙයක් පෙන්නුවා.. හුටා! මේක පෞද්ගලික දේපලක්.. හොරකම් කරන එක හරිනෑ.. අයිතිකාරයෝ ඉන්නවා.. 

අපි ඉස්කෝලෙ කූඩු හදන්ට කියල ඉල්ලපුවාම නොදී ඉන්නෑ බං.. අහලම කපමු... ගොතයා කිව්වා.. 

හරි දැන් කවුද අහන්ඩ යන්නේ.. අසංකයා, මායි ගොතයයි දිහා බලනවා.. 

මම බෑත් නොකියා, හාත් නොකිය මට නෙවේ වගේ හිටියා.. පස්සෙ මට උනේ ගොතයත් එක්ක අවසර ගන්න රාජකාරිය සිද්ද කොරන්ට.. අපි දෙන්න අයිතිකාරයාගේ ගෙවල් පැත්තට ගියා..

අනිත් උන් ටික පඳුර ලගට වෙලා බලාන හිටියා.. උන් හිටියෙ අවසරේ ලැබුන සැනින් බට දෙකතුනක් බිම දාන්ට.. 

අපි ගෙදර ගේට්ටුවෙන් ඇතුල් වෙලා දොර ගාවට ගියා.. එතැනට හොඳට වෙල් යාය පේනවා.. ඒත් උණ පඳුරයි අපේ සෙට් එකයි පේන්නෑ.. 

මාමේ.... මාමේ...  ගොතයා මැරෙන්ඩ වගේ කෑගහනවා.. මට ඉතිං උගෙ කට දිහා බලාගෙන ඉන්නව තරං ආතල් එකක් නෑ.. මොකද ඌ කතා කරන්නෙ අමුතු විදියකට.. පව් ඉතිං.. 

මෙන්න නැන්ද කෙනෙක් එලියට ආවා.. ඒ සැරේ මං කට ඇරියා..

මේ... නැන්දේ... අපි ඉස්කෝලෙට කූඩුවක් හදන්ට උණ ගහක් හොයනවා.. අර පඳුරෙන් එකක් කපා ගන්නද?

බොහොම බැගෑපත්ව තමා මං ඒක ඇහුවේ.. නැන්දා ඇස් ලොකුකරලා අමුතු විදියකට බැලුවා.. මටනං එවෙලේම හිතුනා දෙන එකක් නෑ කියලා.. 

 අනේ පුතේ අපේ පඳුරෙන් ඔය කීප දෙනෙක්ම උණ ගස් ඉල්ලුවා.. කීපයක් දුන්නා.. දැන් මෝරපුවා නෑනේ.. කොහෙන් දෙන්නද?..

 ඒකෙ හොඳට මෝරපුවා තිබුනා කියලා කියන්ඩ ගිහිල්ලත් මං නොකිය කට පියාගත්තා.. 

 වෙන තැනක් තියනවද නැන්දෙ අපිට එකක් කපා ගන්ට.. අපිට එකම එකක් තිබ්බනං ගොඩක් පිං.. 

 ඒක කීවෙ ගොතයා.. 

නැන්දා දෙන පාටක්ම නෑ.. එක එක දේවල් කියවන්ඩ ගත්තා.. අපිත් අහගෙන හිටියා..මේ අතර,ගොතයා මගෙ අතට අනිනවා.. මං ඌ දිහා බැලුවා.. ඌ හොරැහින් මොනවාදෝ පෙන්නනවා.. මං ෂේප් එකේ ඌ පෙන්නපු දිහා බැලුවා

මළ කෙලියයි, ජූලි හතයි... කෙලියා තාප්පෙට... මෙන්න බොලේ අපේ අනිත් සෙට් එක උණ බංබුවකුත් කරේ තියාගෙන නියර දිගේ වැටි වැටි දුවනවා.. 

හුටා.. මේක දැක්ක අයිතාකර නැන්දා.. 

එකපාරටම කෑගහන්ඩ ගත්තා.. 

 කොල්ලෝ, කොල්ලෝ... මෙහෙ වරෙන්... 

 අපි තක්බීරි වෙලා, ගල් ගැහිලා, එතැන්ට වෙලා බලාගෙන හිටියා.. මගෙ කකුල් දෙතුන් පාරක්ම කිව්වා උඹත් දුවපිය කියලා.. ඒත් ගොතයව දාල දුවන්ට බැරි නිසා මං හිටියා.. දැන් අපි දෙන්නම බලාගෙන ඉන්නවා..

මෙන්න ගේ පිටිපස්සෙ ඉඳල හොඳට ඇඟපත තියන අයිය කෙනෙක් දුවගෙන එනවා.. ඌ ආපු ගමන් වැඩේ තේරුම් ගත්තා.. උගෙ ඇග පත දැක්ක මම තවත් සීතල වෙලා හිටියේ..

බලන්ඩකෝ පුතේ, මේ ළමයි අහන්ඩ හරි ආවා.. අර හොර රෑන හොඳම උණ බම්බුව කපාගෙන යනවනේ.. 

නැන්දා කිව්වා. කොල්ලා ලගම නවත්තල තිබුන තැපැල් නයින්ටිය ස්ටාර් කරනවා..

හරි.. මං පාරෙං ගිහිං උන්ව අල්ලගන්නං.. 

පොර කුටු කුටු ගාගෙන යන්ඩ පටන් ගත්තා.. 

උන්ට ආයෙ ඕව නොකරන්ට දෙකක් දීල ඒ උන බටේ අරගෙන මේ ළමයින්ටවත් දෙන්ට..  ටික දුරක් අයියා යනකං ඉඳලා නැන්දා කෑගහල කිව්වා.. අපි දෙන්නා මූනට මූන  බලාගන්නවා.. 

ටික වෙලාවක් යනකං අපේ අනිත් සෙට් එකට හොඳ හරුපෙන් බැන බැන හිටපු නැන්දා කුස්සිය පැත්තට ගියා.. 

 අරුං සෙට් එක අහුවෙයිද.. අහු උනොත් අපිවත් අල්ලයිද.. මුං වැඩේ වර්චස් කරයිද.. මගෙ හිතේ දෝංකාර දුන්නා.. මං හිතන්නේ මං හිතපු දේවල්මයි ගොතයත් හිතුවේ.. 

 මේහ්.. අපි යමු.. මෙතන ඉන්න එක ඇගට ගුන නෑ.. අපිත් උන්ගෙම උන් කියල දැනගත්තොත් ඉවරයි.. 

 මම උගෙ කතාව ඉස්මුදුනින්ම පිළිගත්තා. ඉතිං අපි දෙන්නා ෂේප් එකේ නැන්දට කියලා එතැනින් මාරු උනා.. අපි හෙමින් හෙමින් පාර දිගේ එනකොට ඈතින් ගෙදර අයියා උණ බම්බුව පාර දිගේ ඇදගෙන කුටු කුටු ගාගෙන එනවා.. 

 අපි ටිකක් නැවතුනා.. මගෙනං දෙලෝ රත්වෙලා තිබුනේ.. මොනා වෙලාද කියලා දන්නෑනේ.. 

 පොර ආපු ගමන් උන බටේ අපි ලග  අතඇරියා..

ගන්ඩ මල්ලි.. අරුං මාව දකින කොට මේක දාල දිව්වා.. කටු පඳුරු අස්සෙන් දිව්වේ.. කොහොම පැන්නද මංදා.. 

අපි ඉතිං අයියට පිං දිදී උණ බටේ කරේ තියාන ඉස්කෝලෙට ආවා.. ඒ එනකොට අනිත් සෙට් එකෙන් කීප දෙනක් හොල්මන් දිහා බලාගෙන ඉන්නව වගේ අපි දෙන්න දිහා බලාගෙන ඉන්නවා.. සමහරුන්ගෙ අතපය සිරිලා ලේ ගලනවා.. 

ගොතයා ආපු ගමන් අරුන්ට දොස් දෙවොල් තියන්ඩ ගත්තා.. 

මොකද යකෝ තොපි කොරේ.. අපි දෙන්නව මරු කටේ තියල තොපි මේක කපාගෙන ගියාම අපිට මොනාද වෙන්නේ කියල තොපි හිතුවද?.. 

ගොතයා දැන් බයිනවා.. මාත් ලුනු ඇඹුල් ටිකක් දැම්මා

තව ටිකෙන් අපේ බෙල්ල මුලින් ගහල යනවා.. උඹල මාර පොරවල්නේ.. වෙලාවට අපි උඹලගෙ සෙට් එකේ කියල ගෙදර උන්ට මීටර් උනේ නෑ.. නැත්තං අපි හොඳට කාල එන්නේ.. 

කස්ටිය අපි දිහා බලාගෙන, උන්න හැටි තාම මතකයි.. මේ සිද්ධිය සිද්ද උනේ 2001 දී.. දැනට අවුරුදු 11 ක් විතර වෙනවා.. ඒ කාලෙ සුන්දරයි.. දැන් ඒ සුන්දර බව විඳින්න බෑ.. ඒකතමයි ජීවිතේ..




Tuesday, May 1, 2012

දැන්නං පිස්සු වගේ..

අවුරුදු 2කට පෙර, නිෂ්චිත අරමුණක් ඇති උනා..
ඒ පසුපස හැම දෙයක්ම පසෙක ලා දිව ගියා..
බාධක ආවා.. සැලුන්නෑ..
වෙනස් උන්නෑ.. ඒ තරමටම ඒක ස්ථිර ඉලක්කයක් උනා..


හිතාගන්න බැරි උනා
පොඩි දෙයකින් උනත් සැලෙන, වැටෙන
අවුරුදු ගානකට කලින් හිටපු මමමද මේ කියලා..
ඒ තරමටම ශක්තිමත් උනා..

ඒත් තවත් බාධක ආවා...
හිතාගන්න බෑ.. ඇයි මෙච්චර බාධක..
ආයෙත් දුර්වල උනාද කියල හිතෙනවා..
තේරෙන්නෑ කිසිම දෙයක්..
දැන්නං පිස්සු වගේ..

Sunday, October 24, 2010

විමානයෙන් ආ බ්‍රහ්මයෝ

***** මේ මම ලියපු පොතකින් උපුටා ගත්තු කොටසක්******

විමානය

දැඩි නිහැඩියාව ඝන අදුරෙන් වසාගත් වන ලැහැබ පුරා පැතිරුනි. එකවරම ඇති වූ ඒ නිහැඩියාව අප සිත් වල කුතුහලය මුසු වූ බියජනක හැගීමක්ද ඇතිකරවීමට සමත් විය.

මට නං හිතෙන්නෙ මොකක් හරි දෙයක් වෙන්ඩයි යන්නේ... සුමේධ මගේ කනට කර රහසින් කීවේ අනෙක් තිදෙනාටද නොඇසෙන අයුරිනි. මම ඔහුට පිළිතුරු දීම ‍වෙනුවට තවදුරටත් පියවර කිහිපයක් ඉදිරියට ගමන් කළෙමි.

වන ලැහැබට ඉදිරියෙන් පෙනෙන්නට තිබූ තැනිතලාව. චන්ද්‍රාලෝකයෙන් ආලෝකමත් වී තිබුනි.. මේ දැඩි අන්ධකාරය තුල සිටිනා වූ අප ඒ දෙසට යන්නට වූයේ පහන් එලියට වශීවූ පළගැටියන් මෙනි. එහෙත් මම වහාම කණ්ඩායම නතර කරගත්තෙමි.

ඇයි මොකද උනේ... එතැන්ට යන්නැ?... කසුන් ඇසුවේය.

ආරක්ෂිතයැයි සිතුනද, එය බොහොම භයානක විය හැකිබව මගේ යටි සිත නිතරම කියන්නට විය. එම නිසා මේ රුස්සගස් අතරේම නැවතී සිදුවන්නේ කුමක්දැයි බලාගැනීම සුදුසුයැයි මට සිතුනි.

අපි මෙතන නවතිමු... අර තැනිතලාව පැත්තට යන එක භයානක වෙන්ඩ පුලුවන්... මම රහසින් අනෙක් පිරිසට ඇසෙන සේ පැවසුවෙමි. කණ්ඩායම එය අනුමත කලේ හිස් සොලවමිනි. අප මෙතරම් වේලා බලාපොරෝත්තු වූ අවස්ථාවට තත්පරයෙන් තත්පරය ලං වන බව අප සියලු දෙනාම දැන සිටීමු. අද කුමක් සිදුවෙන්නට යනවාදැයි කිසිවෙකුටවත් සිතාගැනීමටවත් පුලුවන් කමක් නැත.

බිලියන ගණනක් වූ තාරකා ඇති මේ අසීමිත විශ්වයේ ඉතාම කුඩා ස්ථානයක තිබෙනා වූ පෘතුවිතලය කුමක් හෝ විශේෂ හේතුවක් නිසා ඔවුන්ගේ අවධානයට යොමුවී ඇත. ඔවුන් පැමිණෙන්නේ මනුෂ්‍යයාට පිහිට වීමටද, නැතිනම් විනාශ කිරීමටද. මේ ප්‍රශ්ණයට පිළිතුර දන්නේ ඔවුන්ම පමණි. මේ විශේෂ අවස්ථාව දැක ගැනීමට මිහි මත සිටින මනුෂ්‍ය වර්ගයාගෙන් අප පස් දෙනා කෙතරම් වාසනාවන්තදැයි මට සිතුනි. එහෙත් එය වාසනාවක්දැයි මහා අවාසනක්දැයි අප තවමත් නොදනිමු.

හමා ආ සීතල සුලං රැල්ල එකවරම උණුසුම් වන්නට විය.. මම කණ්ඩායම දෙස බැලීමි.. සුමේධ මා දෙස බලා හිස සැලුවේ දැන් කාලය හරියැයි ඉගියෙන් පවසමිනි.

වායුව තවතවත් ක්‍රමයෙන් උණුසුම් වන්නට විය. මා ‍පෙර දින කුමක් කීවත් දැන්නම් මාගේ සිතට බිය ඇතුලුවී හමාරය.

*************************************************************************************
*විමානයෙන් ආ බ්‍රහ්මයෝ* කෘතිය ඇසුරෙනි....
සංජය දිසානායක (කර්තෘ)

Friday, August 27, 2010

දෙවියන් වෙතටයි!!!

සනා,
හලාවත.

2010.08.27

ප්‍රධාන දෙවියන්,
දිව්‍යලෝකය.

දෙවියන් වෙතටයි

දෙවියන් නාමයෙන් වාර්ෂිකව සිදුවෙන මහා පාපකර්මයක් පිළිබදවයි!!

සෑම වසරකම හලාවත මූන්නේෂ්වරම් කෝවිලේ සිදුවන සත්ව ඝාතනය ඔබ වහන්සේගේ දිව්‍ය නෙතට වැටී ඇත්දැයි මම නොදනිමි.

මිත්‍යා දෘෂ්ටියෙන් වියරුවැටී දෙවියන්ගේ නාමයද කෙලෙසමින් මේ සිදුකරන්නාවූ එළු ඝාතනය සළුපටු දෙයක් ලෙස දැකිය නොහැකිය. ‍සෑම වසරකම මෙම බිලි පූජාවට එළුවන් 300 ක් පමණ ඝාතනය වන අතර, ඒ සදහා අනුබල දෙන්නේ හින්දු බැතිමතුන්ට වඩා සිංහල බොදු ජනයා වීම ඛේදනීය තත්වයකි.

තමාගේ යහපතට තවත් සතෙකුගේ ජීවිතයක් මෙසේ විනාශ කිරීම නිවැරදිද?..

‍හින්දු දහම ප්‍රධාන ආගම වූ ඉන්දියාවේද මෙවැනි මිත්‍යාදෘෂ්ඨික බිලිපූජා තහනම් කර ඇතත්, ධර්මද්වීපය වූ මේ ලක් බිමේ මෙම තත්වය ඉතා හොදින් කෙරී යන බව ඔබ වහන්සේලාට පෙනෙනවා ඇත.

පසුගියදා මෙම බිලි පූජාවට භික්ෂුන් වහන්සේලාගේ විරෝධතාවයක් ඇතිවූවත් කිසිදු ප්‍රතිඵලයක් නොමැති වීම ඉතාම කණගාටු දායකය.

අනේ දෙවියනේ මෙවැනි අපරාධ මේ ලක්දිවේ සිදුවන්නට ඉඩ දෙන්නේ ඇයි?..

ජනවාර්ගික අර්බුද වලට වඩා ආගමික අර්බුද දරුණු වැඩිය.. මේ හේතුවෙන් ‍රාජ්‍ය නායකයින් මේ පිළිබදව අවධානය යොමුකර සාකච්ඡා මගින් හෝ මෙය නැවැත්වීමට පියවර ගත යුතු බව මාගේ අදහසයි..

බෙද්ධයෙකු වශයෙන් මාගේ එක ඉල්ලීමක් ඇත. අනේ දෙවියනේ.. ඔබ වහන්සේලාගේ නමින් මේ කරණා වූ යක්ෂ වැඩේ නැවැත්වීමට අදාල බළධාරීන්ට නුවණ පහල කර දෙනු මැනවි..

මෙයට,
විශ්වාසී.
සනා..